Responsive Ad Slot

Slider

රක්ෂිතවල අක්කර ලක්ෂ 3ක් කෝටිපතියන්ට බෙදලා

දිවයින පුරා වනරක්ෂිතවලට අයත් ඉඩම් අක්කර තුන්  ලක්ෂ තිස් දෙදහසක් කෝටිපති ව්‍යාපාරිකයන් සහ ප්‍රභූවරුන් ඇතුළු  විවිධ තරාතිරම්වල  පිරිස් සඳහා වගා කටයුතු ඇතුළු නොයෙකුත්  ව්‍යාපෘති  වෙනුවෙන් මේදක්වා නිදහස් කර ඇතැයි  තොරතුරු අනාවරණයවී ඇති බව  පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි.

වන රක්ෂිතවල ඉඩම් මෙලෙස විවිධ පුද්ගලයන්ගේ මනදොළ සැපිරීම සඳහා මෙලෙස  නිදහස් කිරීමෙන්  රටේ පරිසරයට බරපතළ  තර්ජනයක් ඇතිවන  බව එම කාරක සභාවේ සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.

මේ අතර 2018 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා අලි මිනිස් ගැටුම හේතුවෙන් අලි මරණ 1967ක් සිදුවී ඇති අතර අලින්ගේ පහරදීම හේතුවෙන් පුද්ගලයන් 667 දෙනකු  මරුමුවට පත්ව ඇතැයිද  එම කාරක සභාවේදී තොරතුරු හෙළිවිය.

මෙම කාලයේ අලි මිනිස් ගැටුම වැළැක්වීම සඳහා වැය කර ඇති මුදල රුපියල් කෝටි 12කට වැඩි බව කාරක සභාව පවසයි.

මේ  වසරේ පමණක් අලි මරණ 273 ක් සිදුව ඇතැයිද  මෙහිදී සඳහන් විය.

පරිසර ස්වභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී  පසුගියදා රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.

අලින්ගේ ශරීරවල ඇති වෙඩි උණ්ඩ ගැන විපරමක් කළහොත් එම වෙඩි උණ්ඩවලින් සියයට හැටක්ම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඒවා බව හුස්ම සංවිධානයේ නියෝජිතයෝ කාරක සභාවට පෙන්වා දුන්හ.

හක්ක පටස්, විදුලිය දැමීම වැනි හේතු මත සිදුවන අලි මරණ සම්බන්ධයෙන් ක්‍රියාත්මකවීමට  නීතියක් නැතැයි පරිසර සංවිධාන නියෝජිතයෝ පෙන්වා දුන්හ.
ඒ සම්බන්ධයෙන් නීති කෙටුම්පතක් සකස් කර දෙන ලෙස සභාපති අජිත් අජිත් මාන්නප්පෙරුම මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

කලාවැව රක්ෂිතය මේ දක්වාම රක්ෂිතයක් ලෙස ගැසට් කර නැතැයි පරිසර නියෝජිතයෝ පෙන්වා දුන්හ. එම ගැසට්ටුව ඉදිරියට ගැනීමට කොපමණ උත්සහ ගත්තත් එය හමස් පෙට්ටියට යන බවද ඔවුහු සඳහන් කළහ.

කලාවැව රක්ෂිතය අලි මරණ රැසක් සිදුවන කලාපයක් ලෙස හඳුනාගෙන ඇතැයි මෙහිදී තොරතුරු අනාවරණය විය.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්  හෙට(10  )  අගහරුවාදා  එම ආංශික අධික්ෂණ අධික්ෂණ කාරක සභාවට  නැවතත් කැඳවීමට නියමිතය.

දුම්රිය මාර්ගයේ අලි ඇතුන් මිය යන්නේ එකම කලාපයක බවත් අවුරුදු ගණනාවක් ගත වුවද අලි ගැටළු පවතින එම කි.මීටර් 7-8  ප්‍රදේශය හඳුනාගෙන  අලි ඇතුන්ගේ ඇතුන්ගේ ආරක්ෂාවට   ආරක්ෂිත ක්‍රියාමාර්ග ගැනීමට බලධාරීන් අපොහොසත්වී ඇති බවත් කමිටුවේදී තොරතුරු අනාවරණයවිය.

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)


0

No comments

Post a Comment

both, mystorymag
© all rights reserved
Designed by IDAPZ