Responsive Ad Slot

Slider

කථානායක කිරිඇල්ලට දෙහි කපයි





කාලය කළමනාකරණය කළ යුත්තේ මූලාසනයයි – කිරිඇල්ල

කිසිම තේරුමක් නැති ලෙස පල්හෑලි කතා කරමින් පාර්ලිමේන්තු කාලය නාස්ති කරනුයේ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතාගේ කණ්ඩායම යැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (02 දා) පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.

ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා විසින් පාර්ලිමේන්තු කාලය කළමනාකරණය කළ යුතු බවට කරන ලද ප්‍රකාශයක් අතරතුර කථානායක මේ බව පැවසීය.

එහිදී මතු වූ කතාබහ මෙසේය.

ප්‍රසන්න රණතුංග මහතා – කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණ පක්‍ෂනායක රැස්වීමේදී කාරක සභා අය වැය උදේ 9.30 සිට රාත්‍රි 07.00 දක්වා ක්‍රියාත්මක කරන්න තීරණය වුණා. නමුත් රැස්වීම් ආරම්භයේදී 27/2 යටතේ හෝ වෙනත් කාරණා ඉදිරිපත් කරලා මේ අය දිගින් දිගටම කතා කරනවා. ආණ්ඩුවට තිබෙන්නේ කාලය විනාඩි 257 යි. ඒත් විපක්‍ෂයට විනාඩි 314 ක් තිබෙනවා. එහෙම වැඩියෙන් ලැබිලාත් විපක්‍ෂය උදේට මෙහෙම කරලා රැස්වීම් ආරම්භයත් ප්‍රමාද කරනවා. ඒ වගේම රැස්වීම් අවසන් වන කාලයත් දීර්ඝ වෙලා තිබෙනවා. රාත්‍රි හත පසුවූ දින ගණනාවක් තිබෙනවා. උදේට විපක්‍ෂයේ අය කාලය වැඩියෙන් ගන්නවා නම් ඒ අයගේ කාලය හවසට අඩු කරන්න. නැතුව අපේ කාලයෙන් අඩුකරන්න එපා. අනෙක මේ ප්‍රමාදය නිසා පාර්ලිමේන්තු නිලධාරීන්ට විශාල අසාධාරණයක් වෙනවා. මේ අය බස් රථවලයි යන්නේ. සභාවේ කටයුතු අවසන් වුණත් ඒ අයට තව පැය භාගයක් විතර යනවා ඒ සේවා කටයුතුවලට. ඒ අය උදේ 8.30 ට එන්නත් ඕනෑ. මේක හරි අසාධාරණයි. ඒ නිසා කාලය නිසි පරිදි කළමනාකරණය කරන්න.

කථානායක – ඔය කාරණය දෙපැත්තෙන්ම වෙනවා.

ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා – කාලය කළමනාකරණය කරන්න ඕනෑ මූලාසනයෙන්. නැතුව අපි නෙවෙයි.

කථානායක – බලහත්කාරයෙන් නැගිටලා මෙතන කතා කරනවා විපක්‍ෂයේ අය. ඒත් ඔබතුමාලා ඒක වළක්වන්න කටයුතු කරන්නේ නෑ. ඒක කනගාටුවට කාරණයක්. ඔබතුමාගේ කණ්ඩායම පාලනය කිරීම ඔබතුමාගේ වගකීමක්. ඉතාමත් අශෝභනයි විපක්‍ෂයේ මන්ත්‍රීවරු සමහර වෙලාවට හැසිරෙන ආකාරය. විපක්‍ෂයේ මන්ත්‍රීවරු කතා කරන එක වරදක් නෙවෙයි.

ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා – අපි ඔබතුමා සමඟ අමනාපයක් නෑ. හැමදාම ඔබතුමා උදේට වචනයක් හරි කතා කරන්න දෙනවා. අපි ඒක දන්නවා. අපි නෙවෙයිනේ න්‍යාය පත්‍රය හදන්නේ. ආණ්ඩුවනේ. විපක්‍ෂය න්‍යාය පත්‍රය හදන්නේ නෑ. අපි නවය සහ දහය දිනවලත් විවාදය ඉල්ලුවා. ඒකත් දුන්නේ නෑනේ.

කථානායක – අටවැනිදාට විවාදය නතර කරන්න කියලා ඉල්ලුවේ විපක්‍ෂය. මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව තිබෙන්නේ කතා කරන්න. නමුත් කිසිම තේරුමක් නැති විදියට පල්හෑලි කතා කරනවායින් මේ කාලය නාස්ති වෙනවා.

ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා – මූලාසනයෙන් සභාව පාලනය කරන්න ඕනෑ.

කථානායක – ඔබතුමාගේ කණ්ඩායම පාලනය කිරීම ඔබ කරන්න. විපක්‍ෂයෙන් වැඩිම කරදරය වෙන්නේ ඔබතුමාගේ කණ්ඩායමෙන්. කිසිම විනයක් නැතිව ක්‍රියා කරනවා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

0

No comments

Post a Comment

both, mystorymag
© all rights reserved
Designed by IDAPZ