Responsive Ad Slot

Slider

මුතුහෙට්ටිගම අත්අඩංගුවට නොගත් හේතු කියන්න වලානේ අධ්‍යක්‍ෂකට උසාවි එන්න කියයි


නීති විරෝධී ලෙස කොටස් ගෙන්වා එකලස් කරන ලද වාහනයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වූ නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ලබන 21 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඊයේ (14 දා) නියෝග කරන ලදී. 

පසුගිය වසරේ ඔක්තෝබර් 31 වැනිදා පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් ගාල්ල නගරයේදී සුඛෝපභෝගී වාහනයක් නවතා පරීක්‍ෂා කර ඇත. මෙම වාහනය පදවාගෙන ගොස් ඇත්තේ පොලිස් කොස්තාපල්වරයකු වන අතර වාහනයේ කිසිදු නීත්‍යානුකූල ලියැකියවිලි තිබී නැත. පසුව සැකකරු හා වාහනය අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ගාල්ල පොලිසියට භාරදී ඇත. 

එහිදී කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ එහි චැසි අංකය මියගිය කාන්තාවකගේ මෝටර් රථයක අංකය ලෙස කොටා ඇති බවයි. වාහනයේ නොම්බර තහඩුවද ව්‍යාජ එකක් බව හෙළිවී ඇත. වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ මෙම සුඛෝපභෝගී මෝටර් රථය නීති විරෝධී ලෙස කොටස් ගෙන්වා එකලස් කර ඇති එකක් බවය. ඊයේ දින මුතුහෙට්ටිගම මහතා අධිකරණයට පෙනී සිටි අවස්ථාවේ පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරියකු කියා සිටියේ නඩුවේ දෙවැනි විත්තිකරු ලෙස නිශාන්ත මුතුහෙට්ටිගම නම් කරන බවය. 

එම අවස්ථාවේ මහෙස්ත්‍රාත්වරයා කියා සිටියේ වලාන දූෂණ මර්දන අංශයේ විමර්ශන ගැන සෑහීමකට පත් නොවන බවය. නිශාන්ත මුතුහෙට්ටිගම අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අධිකරණයේ පෙනී සිටීමට වලාන දූෂණ මර්දන ඒකකය අධ්‍යක්‍ෂවරයාට නොතීසි නිකුත් කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. සුගතපාල දීයගහගේ – අහංගම



0

No comments

Post a Comment

both, mystorymag
© all rights reserved
Designed by IDAPZ